Blogs & Latest News

කලා පුරාණයේ සුවඳ – දෙවර ගම්පොළ සිල්වත් තැන

ශ්‍රි ලංකාවේ උඩරට චිත්‍ර ශිල්පයේ ඉහළතම මට්ටමක් නිරූපණය කළ ශිල්පියෙකු වූයේ දෙවර ගම්පොල සිල්වත් තැන ය. 18 වැනි ශතවර්ෂයේ බෞද්ධ චිත්‍ර ශීල්පය ඔස්සේ විශිෂ්ට නිර්මාණ රැසක් ඔහු සිදු කලේය. ඔහු “සිත්තර” ලෙස හඳුන්වනු ලැබූ උඩරට ශිල්පී පරම්පරාවේ ඉතා වැදගත් චරිතයකි. එකල එකම නිකාය වූ සියම් නිකාය තුළ මහණ කර විය හැක්කේ ගොවි කුලයට අයත් අය පමණක් වන නිසා මෙම හිමියන්ට උපසම්පදාව අහිමිවන අතර මියයන තුරු සාමණේර නමක් වශයෙන් ජීවත් වූවෙකු ලෙස ද ඔහුව හඳුන්වයි.


කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, දෙවරගම්පොල ග්‍රාමයේ උපත ලද දේවරගම්පොල සිල්වත් තැන තමන් වැඩ වාසය කළ විහාරස්ථානයේ චිත්‍ර ඇඳ ඇති අතර එයින් ප්‍රසිද්ධ වුණු ඔහුට අසල්වැසි විහාරස්ථානවලින්ද ආරාධනා ලැබී ඇත. මොහුගේ නිර්මාණ තුළින්, මොහු දක්ෂ කලා ශිල්පියෙක් බව හඳුනාගත් කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා විහාර ප්‍රතිසංස්කරණය සඳහා අවස්ථාව ලබා දී ඇත.


ඔහුගේ විශිෂ්ටතම කාර්යභූමිය වන්නේ දෙගොල්දෝරුව රජමහා ව්හාරය තුළ අලංකාර කළ බිතු සිතුවම්ය. ක්‍රිස්තුවර්ෂ 1771 වැනි කාලයේ දෙගොල්දෝරුව රජමහා විහාරය හි නිර්මාණය කරන ලද සිතුවම්, උඩරට ශෛලියේ නිරූපිතව තිබේ. “ජාතක කතා“ සහ “මාර යුද්ධය” වැනි තේමාවන් මෙම සිතුවම් වල විශේෂ කොටස් වේ. උඩරට චිත්‍ර ශිල්පයේ විශේෂ ලක්ෂණ ලෙස, සියලුම චරිත, සත්ත්වයන්, ගස් සියල්ලම එකම ප්‍රමාණයෙන් නිරූපිත වී ඇති අතර, පසුපස දර්ශනය නොදැක්විම විශේෂත්වයකි.


දෙගොල්දෝරුව විහාරයට අමතරව, ඔහු කුරුණෑගල රිදී විහාරය ඇතුලු අනෙකුත් විහාර වල සිතුවම් සිදුකළ බවට පෞරාණික වාර්තා ඇත. එම නිර්මාණ ඔහුගේ කලා කාර්යය පුලුල් කරමින් විහාරස්ථාන බහුතරයක් සඳහා ඉතාමත් වැදගත් කාර්යයක් ඉටු කර ඇත. මෙම සිතුවම් උඩරට රාජධානියේ විත්‍රශිල්පයේ “මූලික ආකෘති” ලෙස සැලකෙයි. මොහු චිත්‍ර ශිල්පියෙකු පමණක් නොව මූර්ති නිර්මාණකරුවෙකි.


රදී විහාරයේ චිත්‍ර අඳිමින් සිටින අවස්ථාවක කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා, දෙවර ගම්පොළ සිල්වත් තැනට “උපසම්පදාව හෝ ගම” තෝරා ගැනීමට අවස්ථාවක් ලබා දී ඇති අතර මොහු විසින් ගම තෝරා ගත් බව ජනප්‍රවාදයේ පවතී,


දෙවර ගම්පොළ සිල්වත් තැනගේ ජීවිත විස්තර පොත්පත් වල හෝ සවිස්තරාත්මකව සඳහන් කර නොමැති මුත් ඔහුගේ නිර්මාණ ඔස්සේ, ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික චිත්‍ර ශිල්පය අදටත් ජීවත්වන්නෙකි. ඔහුගේ ශිල්පය, පරම්පරා ගණනාවකට ආදර්ශයකි. ඔහු නිරූපණය කළ සිතුවම්, අපේ සංස්කෘතික උරුමයකි.

November 15, 2025