1905 දී මහනුවරට ආසන්න හුන්නස්ගිරිය ප්‍රදේශයේ නිත්තවෙල ගම්මානයේ උපත ලැබූ ඔහු මුල්යද්දෙස්සලාගේ ගෙදර ගුණයා නම් විය. නර්තනයට දැඩි ආසාවක් දැක්වූ අතර, කුඩාකල සිටම තම කලාමය හැකියාවන් පෙන්වන්නට විය. නිත්තවෙල ගුණයාගේ පවුලත්, කලා උරුමයකට බැඳුණු පනික්කියා පරම්පරාවයි. උඩරට කැරැල්ලේදි කැප්පැටිපොළ නිලමේ අසල සිටි නිත්තව මහා පනික්කයා ඔහුගේ මී මුත්තා වේ. ඔහුට මුල් නර්තන අධ්‍යාපනය ලැබෙන්නේ පරම්පරා දායදයක් ලෙසිනි. පසුව උඩරට නර්තනය සහ වන්නම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගත්තේය.
18 වියේදී වෙස් බැඳීම සිදුකළ ගුණයා, නර්තන වෘත්තියට වටිනා ආරම්භයක් ලබා දුනි. ශ්‍රි ලංකාව පුරා නර්තන නිරූපණ කිරිමට පටන් ගත් ඔහු 1927දී ජර්මනියට ආරාධිතව ගිය මුල් ශ්‍රි ලාංකික නර්තකයා විය. එමෙන්ම 1954දී රුසියාවේ ලෝක තරුණ සම්මේලනයට සහභාගී වූ ශ්‍රි ලංකා සංස්කෘතික කණ්ඩායමේ පුරෝගාමිකයා ද ඔහු විය. ඔහු යුරෝප සංචාරකයකදී එංගලන්ත මහරැජිනගේ ප්‍රශංසාවට ලක් වු නර්තන ශිල්පියෙකි. 1958 දී ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේද ඔහුගේ නර්තන අංග ඉදිිරිපත් කිරිම එකල ජනප්‍රියත්වයට පත් ව ඇත. චීනය,ජපානය,නෙදර්ලන්තය,ජර්මනිය,මහා බි්රතාන්ය,චෙකෝස්ලොවැකියාව,ඉන්දියාව වැනි රටවල් තුළ ඔහු නර්තන උත්සව සඳහා සහභාගි වී ඇති අතර ඔහු ගේ නම කලා ලෝකයේ සැලකිල්ලට ලක්වුණි.
ගුණයා ගුරුන්නාන්සේ විසින නිර්මාණය කළ වන්නම් අතර තුරඟා වන්නම, ගජගා වන්නම විශිෂ්ට නිර්මාණ ලෙස සැළකේ. එම නර්තන රචනා ඔහුගේ ශරීරයෙන් මනෝභාව, සත්තව චලන සහ ගැඹුරු හැඟීම් ප්‍රකාශයට පත් කළ අතර නර්තනය තුළ කාව්‍යමය ගැඹුරක් ඉස්මතු වෙයි.
නර්තන ගුරුවරයෙක් ලෙස ඔහු නව පරපුරට ලබා දුන් ශාස්ත්‍රය විශිෂ්ට ය. ඔහු ශිෂ්‍යයන්ගේ හැකියාව පමණක් නොව, ඔවුන්ගේ සිතිවිලි, සත්‍යය, අභිමානය සහ භාවනාව වර්ධනය කිරිමේ කටයුතු සඳහා කැප වූයෙකි. ඔහුගේ අදහස “නර්තනය යනු සරල චලනයක් නොව, එය හදවත හා සිත සන්සුන් කරවන ශාස්ත්රයකි” යන්නයි.ඔහු ට ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයෙහි ගුරු සේවය සඳහා ආරාධනා ලැබුවද එය ප්රතික්ෂ්ප කලේ තම කලා උරුමය මෙරට පරම්පරාවට ලබාදීමේ කැපවීම නිසාවෙනි.
අවුරුදු 57ක් පුරාවට මහනුවර දළදා පෙරහැරේ නර්තන ඉදිරිපත් කර ඇති මොහු සම්මාන, ගරු බුහුමන් වලට ප්‍රාප්ත වී ඇත. 1950 නිදහස් සමරු මුදදරය එවකට අගමැති වූ ඩී. එස්. සේනානායක මහතාගේ උපදෙස් පරිදි නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේගේ රුවෙන සැරසුනි.2005 වසරේ සිට මේ දක්වා රුපියල් 50 මුදල් නෝට්ටුවේ ඔහුගේ රුව සේයා කර ඇත්තේ ඔහුට උපහාරයක් වශයෙනි.
ඒ කෙසේ වෙතත් මෙම ලෝකපූජිත නර්තන ශිල්පියා ව දේශයක් වශයෙන් රැක ගැනීමට උනන්දු නොවීම මහා අවාසනාවකි. එහි අඳුරු ප්‍රතිඵලයක් ලෙස ඔහු 1979 දෙසැම්බර් 23 රාත්‍රියේ තම ඇඳිවතට කුප්පිලාම්පුව පෙරළ පිලිස්සී යාමෙන් ජීවිතයෙන් සමුගන්නට විය. ඔහු අභාවප්‍රාප්ත වුවද, ඔහුගේ නර්තන උරුමය අදටත් උඩරට නර්තන ක්ෂේත්රය තුළ ජීවමානව පවතින අතර ශ්‍රි ලංකාවේ උඩරට නර්තන ශිල්පය තුළ අමරණිය ස්ථානයක් දිනාගත් නාමය නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ වේ.