මහනුවර නගරය වටා විහිදී තිබෙන පුරාණ ස්මාරක ගොඩනැගිලි වූ දළදා මාළිගාවේ පත්තිරිප්පුව, නුවර වැව (කිරි මුහුද), මඟල් මඩුව, වලාකුලු බැම්ම සහ උල්පැන්ගේ වැනි විශිෂ්ට නිර්මාණ, අදත් උඩරට ගෘහ නිර්මාණ ශිල්පයේ අභිමානයක් ලෙස පවතී. එහි නිර්මාණ ශිල්පියා දේවින්ද්‍ර මුලාචාරි වේ. අවසන් උඩරට රජවරුන් තුන්දෙනාගේ රාජකීය ශිල්පයා ලෙස කටයුතු කළ කලාකරුවෙකි.
දේවින්ද්රගේ පරම්පරාව පිළිබඳව පැවැති ජනප්‍රවාද අනුව ඔහුගේ පවුල දකුණු ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි, පසුව කොත්මලේ හරහා මහනුවරට පැමිණි ඇතැයි කියෙවෙයි. ලිඛිත සාධක නැති වුවද, එවකට රාජකීය අනුග්‍රහය ලබමින් ඔහු උඩරටයේ ශ්‍රේෂ්ඨතම ශිල්පියෙකු ලෙස පිළිගත් බව විවිධ සාහිත්‍ය සාධකවලින් තහවරු වේ. 1780 දී කීර්ති ශ්‍රි රාජසිංහ රජු විසින් ඔහුට “දේවේන්ද්‍ර” යන නමත්, “මුලාචාරි” යන පදවි නාමයත් පිරිනමන ලදී. “මුලාචාරි” යනුවෙන් හඳුන්වන්නේ සියලුම ශිල්පීන් අතර මුල් පිළිගත් පුද්ගලයා යන්නයි.
අවුරුදු 30කට ආසන්න කාලයක් තුළ දේවින්ද්‍ර මුලාචාරි . කීර්ති ශ්‍රි රාජසිංහ, රාජාධි රාජසිංහ සහ ශ්‍රි වික්‍රම රාජසිංහ යන රජවරුන් යටතේ කටයුතු කර ඇත. ඔහුගේ නිර්මාණයන් රජ වාසල වටා පමණක් නොව,මහනුවර නගරයම හැඩග්වන ලදී. පුරාණ වාර්තා අනුව, “ඩිංගිත්තා අප්පු” ලෙසද ඔහු හැඳින්වුණු අතර, අදත් ඔහුගේ පරම්පරාවට අයත් පිරිස් අරත්තන ගමේ ජීවත් වන බව සඳහන් වේ.
මෙතුමාගේ විශිෂ්ටතම නිර්මාණයක් වන්නේ දළදා මාලිගාවේ ඉදිරිපස පිහිටි පත්තිරිප්පුව ය. රජුට ජනතාව ඉදිරියේ පෙනී සිටීම සඳහා වූ මෙම මණ්ඩපය ඔහු විසින් කෙසෙල පිතිවලින් ආකෘතියක් සකසා ප්‍රදර්ශණය කළේය. එයට ප්රමුඛ රාජඅනුග්රහය ලැබී ඉදිකිරිම් ආරම්භ විය. එහිදී ඇති වූ ගැටලුත්, උඩරට ප්‍රධානින්ගේ විරුද්ධතාවත් හේතුවෙන්, පරාලවල දිග හොර රහසේ කපාදැමුවන් ඔහුගේ සැලසුම වෙනස කළේය. එම වෙනස පිළිබඳව උඩරට ප්‍රධානින් රජුට වැරදි තොරතුරු ලබාදීමෙන් ඔහුට දඬුවමක් ලෙස ඇඟිල්ලක් කපා දැමීමට නියම කෙරිණි. ජනප්‍රවාදය අනුව, රාජ නින්දාවෙන් මිදීම සඳහා දේවින්ද්‍ර පත්තිරිප්පුව නිම කළ පසු ඔහු විසින්ම සැලසුම් කරන ලද කිරි මුහුදට පැන දිවි නසා ගත්තේ යයි සඳහන් වුවද, වෙනත් මූලාශ්‍ර වල පවසන්නෙ ඔහු නගරයෙන් පිටවී ලියනවලදී “රාජ ශිල්ප” නමින් සැඟවී සිටි බවයි.
ඔහුගේ තවත් සැලසුමක් වූයේ උල්පැන්ගේය. බිසෝවරුන්ගේ ස්නානය සඳහා වූ ජල තටාක සහිත, දෙමහල් ගොඩනැගිල්ලකි. වැවෙන් ජලය ගෙන පහළ මහලේ තටාකය සකසා, ඉහළ මහල ඇඳුම් මාරු කිරිමට යොදාගෙන තිබුණි. ඉංග්‍රිසි පාලන සමයෙන් පසු එය යළි ගොඩනැගුණත්, මූලික සැලසුම දේවින්ද්‍ර මුලාචාරි ගේ නිර්මාණයක වන බව සැලකේ.
පුරාණ මහනුවර නගරය සැලසුම් කිරිමේද, ගොඩනැගිලි සෑදීමේද, ශිල්පය හා වාස්තු විද්‍යාව එකට ගැළපුවේ දේවින්ද්‍ර මුලාචාරිගේ උත්කෘෂ්ට හැකියාවන් හරහාය. ඔහුගේ දියුණු කලා නිර්මාණ, තවමත් ශ්‍රි ලංකාවේ සාහිත්‍ය හා සංස්කෘතික උරුමයේ දායාද වේ.