උඩරට, පහතරට සහ සබරගමු නර්තන සම්ප්‍රදායේ එකිනෙකට ආවේනික වූ විවිධාකාර ශාන්ති කර්ම බොහෝ විට රෝග, අපල ආදියෙන් ආරක්ෂා විම හා මානසික සුවය ලබා ගැනීමේ අරමුණින් පවත්වනු ලබයි. මෙම ශාන්ති කර්ම දෙවියන් උදෙසා ද, යකුන් උදෙසා ද, ග්‍රහයින් උදෙසා ද සිදු කෙරේ. ඒ ඒ ශාන්ති කර්ම එක් එක් සම්ප්‍රදායන්ට අනුව පූජා විධි වලට අයත් දෙවිවරු හා යකුන් අනුව වෙනස් වේ.
උඩරට ශාන්ති කර්මය දෙවියයන් උදෙසා කොහොඹා කංකාරිය පවත්වනු ලබන අතර එය උඩරට ශාන්ති කර්මයේ ප්‍රධාන ශාන්ති කර්මය වේ. යකුන් උදෙසා කඩවර සමයම සහ දෙවොල් භාගය ද, බලියාග ග්‍රහයින් සඳහා ද පැවැත්වේ.
පහතරට ශාන්ති කර්මය තුල ප්‍රධානතම ශාන්ති කර්මය වන්නේ දෙවොල් මඩු ශාන්ති කර්මය වන අතර ගම් මඩු, මල් මඩු, පූනා මඩු සහ ගිනි මඩු දෙවියන් උදෙසාත්, සන්නි යකුම, රට යකුම, සූනියම් කැපිල්ල, මහසොහොන් සමයම, කුමාර සමයම, ගොපලු සමයම යකුන් උදෙසාත් ග්‍රහයින් උදෙසා බලියාග, ග්‍රහ පූජා, ග්‍රහ ශාන්ති පවත්වනු ලබයි.
සබරගමු ශාන්ති කර්මයේ ප්‍රධාන ශාන්ති කර්මය පහන් මඩු ශාන්තිකර්මය වන අතර හැල්ලුම් මඩු, කිරි මඩු ශාන්ති කර්ම දෙවියන් උදෙසා සිදු කරයි. ඉරමුදුන් සමයම, දහඅට සන්නිය, මංගල සමයම, දේව තොවිලය යකුන් උදෙසා පවත්වන අතර ග්‍රහයින් උදෙසා බලියාග, ග්‍රහ පූජා පවත්වනු ලබයි.
ප්‍රධාන සම්ප්‍රදායන් 3ට අදාල ප්‍රධාන ශාන්තිකර්ම 3 වන කොහොඹා කංකාරිය, දෙවොල් මඩුව සහ පහන් මඩු ශාන්ති කර්මයන්ට මුල් වූ පුරාවෘත්ත කතා පුවත් ඉතිහාසයක් මෙන්ම එයට ආවේනික වූ ලක්ෂණ එකිනෙකට වෙනස් වේ.
උඩරට නර්තන සම්ප්‍රදාය
පඬුවස්දෙව් රජුට වැළඳුනු දිවි දොෂය මුල් කරගෙන ආරම්භ වූ අතර ලෙඩ රෝග වසංගතාදියෙන් අත් මිදිමට, සශ්‍රිකත්වය පතා, ස්වභාවික විපත්වලින් ආරක්ෂාව පතා, විනෝදාස්වාදය හා වර්තමානය වන විට අධ්‍යාපනය හැදෑරිම් සඳහා කොහොඹා කංකාරිය ශාන්තිකර්මය පැවැත් විමේ අරමුණ වේ. කොහොඹා දෙව් තුන් කට්ටුව, බණ්ඩාර දෙවිවරු, විරමුණ්ඩ දෙව්, අමරපති දෙව්, රුප්පා යකුන්, වැදි යකුන්, මෙලෙයි යකුන් පුද ලදන දෙවිවරු හා යකුන් වන අතර චාරිත්‍ර විධි ලෙස කප් සිටුවිම, තොට පේ කිරිම, මඩු පේ කිරිම ,හඟල යැදීම, අයිලෙ යැදීම සිදුවේ. ගායනාංග ලෙස කෝල්මුර කවි, කොහොඹා හෑල්ලේ කවි, මල්යහන් කවි, අයිලෙ යෙදීම, මහා යාතිකාව ත් මඟුල් බෙරය,අත්‍ය බෙරය, යක්තුන් බෙරය වාදනාංග ලෙසත් භාවිතා කෙරේ. ආවැන්දුම, අස්නේ, යක් ඇනුම, කෝල්පාඩුව නර්තනාංග ලෙසත් නට්‍යමය අවස්ථා ලෙස ගුරුගේ මාලාව සහ යක්කම් අයත් වේ.
පහතරට නර්තන සම්ප්‍රදාය
සේරිමාන රජුට වැළඳුනු හිසරදය මෙම දෙවොල්මඩු ශාන්තිකර්මයේ පුරාවෘත්ත කතා පුවත වන අතර ලෙඩ රෝග වසංගතාදියෙන් අත් මිදිමට, සශ්‍රිකත්වය පතා, ස්වභාවික විපත්වලින් ආරක්ෂාව පතා, විනෝදාස්වාදය හා වර්තමානය වන විට අධ්‍යාපනය හැදෑරිම් සඳහා මෙය පැවැත්වේ. පුද ලබන දෙවිවරු හා යකුන් ලෙස දෙවොල් දෙවි, පත්තිනි දෙවි හා ගම්බාර දෙවිවරු පුද ලබයි. කප් සිටුවිම, තොට පේ කිරිම, මඩු පේ කිරිම ,හඟල පේ කිරිම හා මිල්ල කැපීම චාරිත්‍ර විදි වන අතර කෝල්මුර කවි, මල්යහන් කවි, බිසෝකප ගායනා, දළුමුර පිදීම, තොරණ යාගය ගායනාංග වේ. වාදනංග ලෙස මගුල් බෙරය හා පිං බෙරය භාවිතා කරයි. දෙවොල්, තෙල්මේ, වාහල හා පත්තිනි නැටිම නර්තනාංග වන අතර නාට්‍යමය අවස්ථා ලෙස දෙවොල් ගොඩ බැසීම, මරා ඉපැද්දවිම, අඹ විදමන, ඇත් බන්ධනය හා මී බන්ධනය දැකගත හැක.
සබරගමු නර්තන සම්ප්‍රදාය
සබරගමු නර්තන සම්ප්‍රදායේ එන ප්‍රධාන ශාන්ති කර්මය වන පහන්මඩු ශාන්තිකර්මයේ පුරාවෘත්ත කතා පුවත ද දෙවොල්මඩු ශාන්තිකර්මයේ එන සේරිමාන රජුට වැළඳිණැයි කියන හිසරදය පාදක කරගනිමින් බිහි වි ඇති අතර ලෙඩ රෝග වසංගතාදියෙන් අත් මිදිමට, සශ්‍රිකත්වය පතා, ස්වභාවික විපත්වලින් ආරක්ෂාව පතා, විනෝදාස්වාදය හා වර්තමානය වන විට අධ්‍යාපනය හැදෑරිම් මෙහි මූළික අරමුණ වේ. දෙවොල් දෙවි, පත්තිනි දෙවි හා ගම්බාර දෙවිවරු පුදලන දෙවිවරු හා යකුන් වේ. කප් සිටුවිම, තොට පේ කිරිම, මඩු පේ කිරිම ,හඟල පේ කිරිම හා මිල්ල කැපීම චාරිත්‍ර විදි වන අතර කෝල්මුර කවි, මල්යහන් කවි, දළුමුර පිදීම, මඩුපුරය, තොරණ දැක්විම ගායනාංග වේ. මංගල දවුල් වාදනය වාදනාංගය වන අතර නර්තනාංග ලෙස දෙවොල්, තෙල්මෙ, කොලොන්න පද, යහන් දැක්ම ද නාට්‍යමය අවස්ථා ලෙස දෙවොල් ගොඩ බැසීම, අඹ විදමන, අසුර යක්කම, රාමා මැරීම සහ පොත්කඩේ පාලිය අන්තර්ගත වේ.
අතීතයේ සිට නූතනය දක්වාම ශාන්තිකර්ම කෙරෙහි මිනිසා විශ්වාස කරන අතර එමගින් මිනිසුන්ගේ සිත් සුවපත් වේ. ඈත අතීතයේ සිට ගැමියන්ගේ ලෙඩ දුක් දුරුකර, වසංගත රෝග, සියලුම ග්‍රහයින්ගේ අපල දෝෂ දුරුකිරිමත් , අස්වනු ආරක්ෂා කිරිමත්, නියන් කාලයට වර්ශාව බලාපොරොත්තුවෙනුත් මෙම ශාන්තිකර්ම පවත්වන අතර එය ඔවුන්ට මානසික හා කායික ප්‍රතිකර්ම විදියක් වේ. සිංහලයාගේ මෙම කලාත්මක උරුමය වර්තමානය වන විට විදේශිකයන්ට පවා මෙහි අත්දැකීම් ලබා ගැනිමටත් රසවිඳින්නට ත් අවස්ථාව උදාවි ඇත.