උඩරට නැටුම් සම්ප්රදායේ ඉතිහාසය පිළිබඳ විමසීමේ දී එහි ආරම්භය විජය රජුගේ කාලය දක්වා අතීතයට දිවයන අතර මෙහි උපත, පදනම, කොහොඹා කංකාරි ශාන්තිකර්මය සනිටුහන් කරයි. ඉන්පසු උඩරට රජවරුන්ගේ මූලිකත්වය හා අනුබලය යටතේ පැවති උඩරට නැටුම් සම්ප්රදාය එකල සිට ජනප්‍රිය සම්ප්රදායක් විය.
සත්කෝරළය, සතරකෝරළය, මහනුවර, උඩුනුවර, යටිනුවර, දුම්බර, හාරිස්පත්තුව වැනි කන්ද උඩරටින් නිර්මාණය වූ නර්තන කලාව, උඩරට නර්තන සම්ප්රදාය ලෙස හඳුන්වන අතර 19 වන සියවසේ අග භාගය දක්වාම පිරිමි පාර්ශවයට පමණක් සීමාවූ මෙම නැටුම් කලාව පසුකාලීනව කාන්තාවන්ට ද හැදීරිමට දොරඟුල් හැරුණි. එමෙන්ම වර්තමානය වන විට ශ්‍රි ලංකාවේ සිව් දෙස ම පුළුල් වූ සම්ප්රදායකි.
උඩරට නැටුම් අතර වෙස් නැටුම සුවිශේෂී ස්ථානයක් ගන්නා අතර එය ශ්‍රි ලංකාවේ අනන්‍යතාවය ඉස්මතු කරන වටිනාම සංස්කෘතික අංගයක් වේ. මහා සම්මත රජ දවසේ ඔහුගේ විවාහ මංගල්‍ය නිමිතිකොට ගෙන මෙම වෙස් නර්තනය මුල්වරට නර්තනය කල බව ද මතයක් ඇත. මෙයට අමතරව නෛඅඩි නැටුම, උඩැක්කි නැටුම, පන්තේරු නැටුම, වන්නම් වැනි නර්තන කලාවෙන් උඩරට නර්තන සම්ප්රදාය පෝෂණය වි ඇත.වෙස් නැටුම මෙන්ම වන්නම් ද ප්‍රසිද්ධ නර්තන අංගයකි. උඩරට නර්තන සම්ප්රදායේ වන්නම් 18ක් තිබෙන අතර මුල් අවදියේ දී වන්නම් ගායන විශේෂයක් වන අතර බොහෝදුර වන්නම් වලින් විස්තර වන්නේ සත්වයන්ගේ හැසිරීම් රටාවන් වේ. වන්නම් යනු වර්ණනා යන අදහසයි. පසුකාලිනව ස්වභාවධර්මය, ඉතිහාසය, පුරාවෘත්ත, ගැමි ආගම් ඇදහිලි ක්‍රම හා ජන කලා පදනම් කරගෙන නර්තයට උචිත ගායනා ලෙස අනුවර්තය වි ඇත. ශ්‍රි විර පරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජු විසින් නර්තනයට සහ සංගීතයට විශාල සහයෝගයක් දී ඇති බව පොත්පත් වල සඳහන් වේ.
උඩරට නර්තන සම්ප්රදායේ මූලික සංගීත භාණ්ඩය වන්නේ ගැටබෙරය වන අතර තාලම්පට නැට්ටුවාගේ රිද්මට ක්‍රමවත්ව පවත්වාගෙන යාමට උදව් වේ. එයට ගායනය ද මුසුවූ පසු උඩරට නර්තනය වඩාත් විචිත්‍රය.
උඩරට නැට්ටුවාගේ ගාම්භිරත්වය උද්දීපනය වන, වෙස් ඇඳුම් කට්ටලය ලක්දිව සංස්කෘතිය මෙන්ම අනන්‍යතාවය ද මනාව පෙන්නුම් කරයි.ශීර්ෂාභරණයෙන් ද නැට්ටුවාගේ පපු පෙදෙස ආවරණය වන අලංකාර පබළු ආභාරනය ද එය ත්‍රීවෘ කරයි. සර්ව සම්පූර්ණ වෙස් ඇඳුම් කට්ටලයෙන් සැරසෙන්නට අවස්ථාව උදාවෙන්නේ නර්තනශිල්පීන්ට පමණක් වන අතර ඒ සඳහා ඔහු වෙස් මංගල්‍ය නම් වූ සංස්කෘතික මංගල්‍යට සහභාගි වි සුදුසුකම් සපුරාගත යුතුවේ. මෙම වෙස් ඇඳුමට අමතරව නෛයඩි ඇඳුම, උඩැක්කි (රබන්) ඇඳුම, පන්තේරු ඇඳුම හා හේවිසි ඇඳුම වෙන් වෙන් වශයෙන් නිර්මාණය කර ඇත.
දේශිය වශයෙන් ගත්කල විසිරි ඇති ශාන්තිකර්ම විවිධාකාරය. දෙවියන්, යකුන්, ග්‍රහයින් ප්‍රධාන කරගනිමින් කරන්නා වූ ශාන්තිකර්ම අතර උඩරට ප්‍රධාන ශාන්තිකර්මයන් ලෙස කොහොඹා කංකාරිය, බලි ශාන්ති කර්මය,දෙවියන් පිදීම,දෙවොල් මඩු,වලියක් මංගල්ලය ආවේනික වූ ශාන්තිකර්ම වේ. මේ අතුරින් ප්‍රධානතම ශාන්තිකර්මය වන්නේ කොහොඹා කංකාරිය වේ. පඬුවස්දෙව් රජුට වැළඳිණියැයි කියන දිවි දෝෂය සුවකිරිම පුරාවෘත්ත කතා පුවත වන අතර පසුකාලීනව ලෙඩ රෝග වසංගතාදියෙන් අත්මිදිමටත්, සශ්‍රීකත්වය පතාත්, ස්වභාවික විපත්වලින් ආරක්ෂා විම සඳහාත් වර්ථමානයේ අධ්‍යාපනික අරමුණු සඳහාත් මෙම ශාන්තිකර්මය පවත්වනු ලැබේ.
අමුණුගම සුරඹා ගුරුන්නාන්සේ, තිත්තපජ්ජල සුරඹා ගුරුන්නාන්සේ, නිත්තවෙළ සහ තල්ගහගොඩ යන කන්ද උඩරට නර්තන පරම්පරා හතර කේන්ද්‍ර කරගනිමින් පාරම්පරික නර්තන ශිල්පීන් උඩරට නර්තන කලාවේ ප්රගමනයට දායක වෙමින් මතු පරම්පරාවට ද මේ උතුම් වූ උරුමය රැක ගැනීමට තම ශිල්පය නොඅඩව ලබා දුනි. පැරණි නර්තන ගුරු කුලයකින් පැවත එන පණිභාරත , අල්ගම කිරිගණිතා, හීන් බබා ගුරු, අමුණුගම ඥානදාස රාජපක්ෂ, දේශමාන්‍ය කලාගුරු චිත්‍රසේන, වසන්ත කුමාර, ශ්‍රී ජයනා, නිත්තවෙල පරම්පරාවෙන් පැවත එන නිත්තවෙල ගුණයා, සයිමන් මාලගම්මන, පියසාර ශිල්පාධිපති, පීටර් සූරසේන යන කලාකරුවන් මෙන්ම එතෙක් නර්තනය තුළ අනසක පැතිරවූ පුරුෂ පක්ෂයට පමණක් සීමා නොවි උඩරට නර්තනය පෝෂණය කිරිමට නැටුම් ශිල්පිනියෝද පුාරෝගාමි විය. ඒ අතර චන්ද්‍රලේඛා, මිරියම් පීරිස්, රංජනා තංගරාජා, සිරිමති රසාදරි, පද්මිණි දහනායක, මිරැන්ඩා හේමලතා, වජිරා චිත්‍රසේන යන කලාකාරිනියන් ද වේ.
ශාන්තිකර්ම, වන්නම්, සවුදම්, කවුත්තම් ආදී කලාංගයන්ගෙන් පොහොසත් උඩරට නර්තන සම්ප්රදා අංග, ශ්‍රි දළදා මාලිගාව සහ හතර මහා දේවාලය එක්ව වාර්ශිකව සංවිධානය කරන සෙංකඩගල පෙරහැර මංගල්‍යය තුළ වර්තමානය වන විටත් දෙස් විදෙස් සැමට විඳ ගැනීමට අවස්තාව උදාවේ.