ශ්‍රී ලංකා භූමි ප්‍රදේශයේ පහතරට, මුහුදුබඩ ආශ්‍රීතව බිහි වූ පහතරට නර්තන සම්ප්‍රදාය, ඔවුන්ගේ ජන ජීවිතයට අනුව නැටුම්, ගැයුම්, ශාන්තිකර්ම, බලි තොවිල් හා යාති කර්ම වලින් පෝෂිත නිර්මාණ කලාවක් පහතරට සිංහලයන්ගේ අපට දායාද විය.ගාල්ල,මාතර, කළුතර, හම්බන්තොට සහ කොළඹ වැනි මුහුදු බඩ ප්‍රදේශ පුරා ව්‍යාප්ත පහතරට නර්තන සම්ප්‍රදාය ඒ ඒ ප්‍රදේශ අනුව රංග ශෛලීන් තුනකට බෙදා ඇත. එනම් මාතර රංග ශෛලීය, බෙන්තර රංග ශෛලීය සහ රයිගම් කෝරළ රංග ශෛලීය වශයෙනි. එය පහතරට නර්තන සම්ප්‍රදායේ නර්තනයන් තුළ විවිධත්වයක් ඇති විමට හේතුකාරණයකි.
පහතතරට නැටුම් පුහුණු කරන්නේ ඉලංගම් මඩුවේ ය. එය විශේෂ කුටියක් වන අතර එසේ කරන්නේ භාහිර පුද්ගලයන්ට නොපෙන්නෙන්න වේ. ආධුණික නර්තන ශිල්පියෙකු ප්‍රථමයෙන් තෙයිකඳ අල්ලාගෙන පාද පුහුණුවට යොමු කරන අතර එය පා සරඹ ලෙස හඳුන්වයි. පා සරඹ ප්‍රගුණ කළ පසු අත් සරඹ පුහුණු කරන අතර අවසානයේ ශාස්ත්‍රීය සිද්ධාන්ත උගන්වනු ලබයි.
පහතරට වන්නම් 32 කින් යුක්ත වන අතර එය සින්දු වන්නම් යනුවෙන් හඳුන්වනු ලබයි. මෙහි වන්නම් බොහොමයක් දඹදෙණි යුගයේ රචනා වි ඇති බව මතයක් ඇතත් සින්දු වන්නම් රචනාවීම පිළිබඳ ලිඛිත සාධක නොමැති බවත් එමනිසා නිශ්චිත කාලයක් සේම මුල් කෘතිය ද අවිනිශ්චිතය. දඹදෙණි යුගයේ එළු සදැස් ලකුණු ගුරුකොට සිංදු වන්නම් රචනා වෙන්නට ඇතැයි පැවසේ. තානම, බෙර පදය, කවිය, ඉරට්ටය යන කොටස් සින්දු වන්නමේ ආකෘතිය වේ.
පහතරට නර්තන සම්ප්‍රදායේ ශාන්ති කර්මයන්ට වස්තු බිජය වන්නේ වගාවන්ගේ ආරක්ෂාව හා ඵලදාවත්, ඔවුන්ගේ නිරෝගීබවත්, පරිසරය හා සතා සිව්පාවන්ගේ ආරක්ෂාවත් වටාය. පහතරට ශාන්තිකර්ම වශයෙන් දෙවොල් මඩු, ගම්මඩු, මල්මඩු, ගීමඩු, පූනාමඩු, දානමඩු, හැල්ලුම්මඩු, ගිනිමඩු, කෝල්මුර යාගය දෙවියන් වෙනුවෙන් ද, යකුන් වෙනුවෙන් දහඅට සන්නිය, මහසෝන සමයම, සූනියම හෙවත් මැණික්පාල ශාන්තිය,රිද්දි යාගය, කළුකුමාර සමයම, ඉරමුදුන් සමයම,කූටක සමයම ද, බලි – තොවිල් සහ ග්‍රහ පූජා ග්‍රහයන් වෙනුවෙන් පැවැත් වේ. ගම්මඩු ශාන්තිකර්මය, රෝග නිවාරණ යාතුකර්මයක් ලෙස දෙවොල් මඩුව නමින් රුවන්වැල්ල ප්‍රදේශයේ ප්‍රථම ශාන්තිකර්මය පැවැත් වූ බව යාතුකර්ම ඇදුරෝ පවසයි. එතැනින් ආරම්භ වූ පහතරට ශාන්තිකර්ම සම්ප්‍රදාය සඳහා නර්තන,පද,කවි ගායනා සංයෝගයෙන් විචිත්‍ර වූ වස්ත්‍රභරණයින් සැරසී වර්තමානයෙත් පහතරට ප්‍රදේශවල ගම්මඩු ශාන්තිකර්මය පවත්වනු ලබයි.
පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ඇඳුම් කට්ටලය පබළු ඇඳුම් කට්ටලය වන නමුදු ගුරුකුල අනුව ඇඳුම් වෙනස් ඇඳුම් කට්ටල රැසක් භාවිතා කරයි. මාතර සම්ප්‍රදායට අයත් හැන්දෑ සමයමේ ඇඳුම්කට්ටලය, දෙවොල් ඇඳුම් කට්ටලය, පත්තිනි ඇඳුම් කට්ටලය, වඩිග පටුන ඇඳුම් කට්ටලයත් රයිගම් සම්ප්‍රදායේ එන තෙල්මේ ඇඳුම් කට්ටලය සහ බෙන්තර සම්ප්‍රදායට ආවේනික ලිච්ජුවි ඇඳුම් කට්ටලය එකිනෙකට වෙනස් විචිත්‍රත්වයෙන් අග්‍ර වූ වස්ත්‍රභරණ වේ.
පහතරට බෙරය, පහතරට නර්තන සම්ප්‍රදායේ තාල වාද්‍ය භාණ්ඩය වන අතර එය ඝොෂක බෙරය, දෙවොල් බෙරය,හෙයියන් බෙරය, දෑතහරි බැරය, දික් බෙරය, කිඳුරු බෙරය, රුහුණු බෙරය, වැල්ලකර බෙරය, පනා බෙරය යන නම් වලින් ද හඳුන්වන්නේ ඒ ඒ අදාල නැටුම් වර්ග, බෙරයේ හැඩය, භාවිතය සහ නිකුත් කරනා හඬ මූලික කරගනිමිනි.
වෙස් මුහුණ,පහතරට නර්තන සම්ප්‍රදායේ ඉතා අපූරුතම නිර්මාණයකි. වෙස්මුහුණු කලාව බිහි වන්නේ පහතරට ජන කොට්ඨාශය තුලිනි. පහතරට නර්තන සම්ප්‍රදාය තුළ කෝලම් නාට්‍ය ප්‍රධාන තැනක් ගන්නා අතර වෙස් මුහුණු පැළඳ රංගනයේ යෙදෙන කෝලම් නාට්‍ය කලාව යටත් විජිත පාලන සමයේ තිබු දුර්වලතාවයන් ඉස්මතු කරමින් එම පාලන ක්‍රමය උපහසයට ලක් කිරිමට ප්‍රබල මාධ්‍යක් විය.
පහතරට නර්තන සම්ප්‍රදාය තුළ කැපීපේන චරිත වූ කේ.එස් ප්‍රනාන්දු මහතා, එස්. එච් සව්රිස් සිල්වා මහතා, විල්සන් ඔලබොඩුව, හදපාන්ගොඩ එන්.එන් සේදරමන් ,එම්.එච්. ගෝමිස් මහතා පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රගමනයට අතිමහත් සේවයක් කරන ලද නර්තන ශිල්පීන් වේ.
පහතරට නර්තන සම්ප්‍රදාය හෙළ ජන ජීවිතය හා බද්ධ වූ ඔවුන්ට ආවේණික වූ ජීවන රටාව, සංස්කෘතිය ඔස්සේ සිංහල ගුණ සුවඳ පතුරවන විවිධත්වයකින් යුත් අපූරුතම කලාවකි.