විජය රජු හා කුවේණියට දාව උපන් ජීවහත්ත, දිසාලා යන දරු දෙදෙනාගෙන් පැවත එන බවට සැලකෙන දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන සබරගමු නර්තන සම්ප්‍රදාය, සබරගමුවට අයත් සමන්තකූඨ ප්‍රදේශයේ ජීවත් වූ සපරු නම් වැදි ජනයා මූලික කරගෙන ඔවුන්ගේ සාමාජීය, සංස්කෘතික සහ ආගමික රටාවන් ට අනුව මෙම නර්තන කලාව නිර්මාණය වී ඇති බව ජනප්‍රවාද හී විශ්වාසය වේ. පසුකාලීනව සපරු යන වචනය සබර ලෙස වෙනස් වන්නට ඇතැයි පිළිගැනෙයි. සබර යනු වැද්දන් යන වචනයට සම අර්ථයක් වන අතර ‘වැද්දන් වාසය කල ප්‍රදේශය’ සබරගමුව ලෙස හඳුන්වන්නට ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. මෙම අනර්ඝ වූ සබරගමු නර්තන සම්ප්‍රදාය, සබරගමු මහා සමන් දේවාලය මුල් කරගනිමින් එම ආවේණික වූ සංස්කෘතික හා සම්ප්‍රදායික ලක්ෂණ ද මුසුව නිර්මාණය වි ඇත. මෙය කුරුවිට කෝරලය, අට කලං කෝරලය, මැද කෝරලය සහ කොලොන්න කෝරලය ඇතුලත්ව සබරගමු පළාතට ප්‍රචලිත වූ ස්වාධීන අමිශ්‍ර පොහොසත් නර්තන සම්ප්‍රදායකි. එම නිසා දේශිය ලක්ෂණ බොහොමයක් දක්නට ලැබේ. එය ලංකාවේ පැරණිතම නර්තන කලාවයි. මෙම නර්තන සම්ප්‍රදාය ශාන්තිකර්ම, නැටුම්, ගැයුම්, වැයුම් තුලින් පරිපූර්ණ වූවකි.
සබරගමු නර්තන සම්ප්‍රදායට අයත් සුවිශේෂි වූ අංගයක් වන ශාන්ති කර්ම අතර ප්‍රධාන ශාන්ති කර්මය වන්නේ පහන් මඩු ශාන්ති කර්මයයි. මෙම යාගයේ ඉතිහාස කතාව අන්තර්ගතය වන්නේ සේරමන් රජුට ඇති වූ හිසරදයක කතා පුවත වන අතර වර්ථමානය වන විට මෙම ශාන්ති කර්මය සිදු කරන්නේ ලෙඩ රෝග වසංගතාදියෙන් අත්මිදීමට, සශ්‍රිකත්වය පතා, ස්වභාවික විපත්වලන් ආරක්ෂාව පතා, විනෝදාස්වාදය පතා වේ.තවද හැල්ලුම් මඩු,කිරි මඩු,ඉරමුදුන් සමයම,දහඅට සන්නිය,මංගල සමයම, බලියාග, ග්‍රහ පූජා වැනි විවිධාකර වූ පූජා විධි වලට මුල් වන දෙවිවරු හා යකුන් අනුව ශාන්ති කර්ම වෙනස් වේ.
මෙම නර්තන සම්ප්‍රදායේ ප්‍රධානතම අංගහාරය මණ්ඩිය වේ. දෑතින් එක් අතක අත්ල නර්තකයාගේ ඇතුළු පැත්තටත්, අනෙක් අතෙහි අත්ල පිටුපසටත් සිටින සේ තබාගනී. මෙය උඩරට මණ්ඩියට වඩා වෙනස් ය. ප්‍රධාන මාත්‍රා 05ක් මූලික කරගෙන සබරගමු නැටුම් කලාව නිර්මාණය වී ඇත. සමන් දේවාල පෙරහැර ගමන් කරන්නේ ද මෙම මාත්‍ර පහ මූලික කරගනිමිනි. සබරගමු නර්තනයට නවකයෙකු ප්‍රථමයෙන් හරඹ 36ක් ප්‍රගුණ කළ යුතුවේ. ඒවා නම් දණ්ඩි හරඹ වශයෙන් දොළසක් ද, මණ්ඩි හරඹ වශයෙන් දොළසක් ද, දොඹින පද වශයෙන් දොළොසක් ද වේ. එය අවසන් වූ පසු ගායනය, වාදනය හා නර්තනය යන අංශයන් හැදෑරිය යුතුවේ.
සබරගමු නර්තනයට අයත් වන්නම් සංඛ්‍යාව සම්බන්ධව විවිධ මතිමතාන්තර පවතින අතර සබරගමු වන්නම් පිළිබඳව තොරතුරු සොයාගැනිමට ඇති ඉතිහාසාත්මක තොරතුරු අවමය. ඇතැම් පාරම්පරික ඇදුරන් සබරගමු වන්නම් සංඛ්‍යාව වන්නම් 18ක් බව පවසයි.1959 වසරේ රචිත ‘සබරගමු නාට්‍ය කලාව’ කෘතියේ වන්නම් 18 ක් ඉදිරිපත් කර ඇත. කිරිඇල්ලේ ග්‍යානවිමල හිමියන් සහ මහලතැන්නේ රටේ මහත්තයා පවසන්නේ වන්නම් 31 බවයි, තවත් සමහරන් වන්නම් 36ක් ලෙස ද හඳුන්වයි. විද්වතුන් පවසන්නේ සබරගමු නර්තන සම්ප්‍රදාය තුළ වන්නම් 24කින් යුක්ත බවයි. කෙසේ වෙතත් මෙතෙක් කර ඇති යම් යම් අධ්‍යනයන් තුලින් ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිළිගෙන ඇත්තේද වන්නම් 24කි. නමුදු මේ සම්බන්ධව තවත් මත බොහෝ ඇත.
සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ඇඳුම් කට්ටලය, පබළු ඇඳුම් කට්ටලයයි. මෙම ප්‍රධාන ඇඳුම් කට්ටලය සමන් දෙවියන්ගේ ඇඳුම ට සමාන වන ආකාරයෙන් නිර්මාණය කර ඇත.
සබරගමු සම්ප්‍රදායට අයත් වාද්‍ය භාණ්ඩය දවුල යි. නමුදු අතීතයේ ‘පටාව නම් භාණ්ඩයක් භාවිතා කළ බව පොත්පත් වල සඳහන් වුවත් මේ වන විට එවැනි භාණ්ඩයක් දක්නට නොමැත. දවුල, අතින් සහ කෝටුවෙන් වයන (විතතාත) ලංකාවේ භාවිතා කරන එකම වාද්‍ය භාණ්ඩය වේ. බෙර වර්ග අතර ඉතාමත් ඈත ඉතිහාසයකට උරුමකම් කියන දවුල අතීතයේ සිට ලංකාවේ භාවිතා වූ සුවිශේෂි වූ බෙර විශේෂයක් වේ.
දවුල් වාදනය කිරිමට නම් දවුල් වාදකයා මූලික වශයෙන් සරඹ දොලොසක් ප්‍රගුණ කලයුතු වේ.
සබරගමු නර්තන සම්ප්‍රධාය මූලික වශයෙන් එයට අනන්‍යවූත් ස්වාධිනවූත් ලක්ෂණ සහිතව ආරම්භ වී විකාශණය වුවත් පසුකාලිනව උඩරට, පහතරට හා සබරගමු නර්තන සම්ප්‍රදායන් තුළ එකිනෙකට මිශ්‍ර වූ අන්තර් සංස්කෘතික ලක්ශන මෙන්ම අප අසල්වැසි රාජ්‍ය වන භාරතයේ ආභාශය ද මෙම නර්තන සම්ප්‍රදායන් තුළ වර්ධනය වී ඇති බව නොරහසකි.
සබරගමු නර්තන සම්ප්‍රදායේ උන්නතියට උරදුන් පරම්පරා ගණනාවක් දැකිය හැකිය. දොඩම්පේ ගණිත පරපුර,හල්දොල පරම්පරාව, බලංගොඩ හල්පෙ පරම්පරාව, කොස්කොලවත්ත පරම්පරාව, ඇලපාත පරම්පරාව, තෙප්පනාව පහළගම පරම්පරාව,මල්ගහපිටිය පරම්පරාව,දම්බුළුවන පරම්පරාව, පැල්මඩුල්ල පරම්පරාව, දෙව්පහල ගුරු පරපුර,බළන්ගොඩ බුලත්ගම පරම්පරාව, ගළුකාගම පරම්පරාව ඒ අතර වේ.
මෙවැනි පරම්පරා ඉතිහාසයක් පැවතෙන සබරගමු නර්තන සම්ප්‍රදාය රැක ගැනිමට ඔවුන් කළ සේවය ඉමහත්ය. දෙල්ගමුව රජමහා විහාරයේ සිට මහනුවරට වැඩම කළ දන්ත ධාතුන් වහන්සේ උදෙසා කරන ලද පෙරහැර පූජා 1926 වසර දක්වාම පෙරහැර න්‍යායික රංගනයෙන් දායකත්වය ලබා දී තිබුනේ සබරගමු නර්ථන සම්ප්‍රදාය විසිනි. ඒ සඳහාම නිර්මාණය වූ විශේෂ නර්තන සම්ප්‍රදායක් සබරගමු ගුරුපරපුර තුල පැවත ඇත. එහෙත් වර්ෂ 1926 දී එවකට දියවඩන නිළමේ සහ සබරගමු කණ්ඩායම අතර ඇතිවූ මතභේදයක් හේතුවෙන් සබරගමු ගුරු පරපුර පූජාවෙන් ඉවත්ව ඇත. වර්තමානය වන විට සබරගමු නර්තන සම්ප්‍රදාය සබරගමු ප්‍රදේශයට පමණක් සීමා වී ඇති අතර මෙම සම්ප්‍රදායට කිසිඳු උපකාරක ආයතනයක් නොමැති බැවින් පිරිහීමට ලක්වෙමින් සිටින බව එම කලාකරුවන්ගේ මතයයි. මෙවැනි එෛතිහාසික සම්ප්‍රදායකට උරුමකම් කියන සබරගමු නර්තන සම්ප්‍රදාව රැක ගැනිම වර්තමාන අපගේ කාර්යභාර්යයකි.