Blogs & Latest News

සංස්කෘතික පරිපූර්ණයක චිත්‍රණයක් වූ කොහොඹා කංකාරිය…

ශ්‍රී ලාංකීය ජන සංස්කෘතිය වසර දහස් ගණනක් තිස්සේ විවිධ ආකාරයෙන් විකාශනය වූ විශිෂ්ට උරුමයකි. මෙම සංස්කෘතියේ නවීන ලෝකයෙහිච තවමත් දැකිය හැකි දිවියට උරුමකම් කියන උත්සවයකි කොහොඹා කංකාරිය. මෙය ආගම්, කලා, වෛද්‍යය, ජන විශ්වාස එකතු කරමින් ගොඩනඟන විශිෂ්ඨ සංස්කෘතික ප්‍රතිරූපයකි.


ආර්ය ගෝත්‍රික කුමාරිකාවක් සරණ පාවා ගත් විජය රජු කුවේණියව දරුවන් දෙදෙනා සමගින් පලවා හැරිම හේතුවෙන් කුවේණිය විජය රජු ට ශාප කර මියයන අතර ඒ ශාපය පලදෙන්නේ විජය රජුගෙන් පසු රජ වූ පඬුවස් රජුටය. එයින් රෝගාතුර වූ පඬුවස් රජු ව සුව කිරිමට නම් මලය රජු පැමිණිය යුතු බව සක්දෙව් රජු දැනගත් අතර මලය රජු ව ගෙන ඒම ඊශ්වරට බාර දෙන ලදී. මලය රජු ව මෙරටට ගෙන ඒමට උපක්‍රමයක් යොදන ලෙස ඊශ්වර විසින් රාහු ආසුරේන්ද්‍රට පවරයි.


ඌරු වෙස් මවා ගත් රාහු ආසුරේන්ද්‍රයා මලය රජුගේ මඟුල් උයනේ සැරි සරපු අතර උයන්පල්ලා විසින් එය මලය රජුට දැන්වූහ. එයින් කෝපයට පත් මලය රජු, සදසිරු හා කිරිසිරු යන සහෝදරයන් දෙදෙනාත් ඇතුලුව තවත් දස දහසක් සේනාව සමගින් ඌරා ව ලුහුබඳින්නට විය. ඌරු වෙස්ගත් රාහු ආසුරේන්ද්‍ර ඔවුන්ව මහනුවර හන්තාන කන්ද මුදුන තෙක් ගෙන්වා ගෙන නතර වූ අතර මලය රජු ඌරාව අල්ලාගෙන කඩු පහරක් ගසන්නට විය. එවිට ඌරා ගල් වුනි. ඒ අවසරයෙන් සක්දෙව් රජු, මලය රජු මෙරටට ගෙන්වා ගැනිමේ අරමුණ ගැන පැහැදිලි කිරිමෙන් පසු පඬුවස්දෙව් රජු මුණ ගැසුනු මලට රජු කරුණු විමසා, එතුමාගේ උයනේ අලංකාරාත්මක රඟමඩලක් සකස් කර හැටපස් මංගල්‍යයක් පවත් වා පඬුවස්දෙව් රජුගේ සිත සතුටු කොට දෙව් දෝෂය (ශාපය) සුවපත් කරන ලදී, එදා ඒ පැවැත්වූ හැටපස් මංගල්‍යය, කොහොඹා කංකාරිය ලෙස හඳුන්වයි.


උඩුනුවර, යටිනුවර, දුම්බර, හේවා හැට, හාරිස් පත්තුව, තුන්පනේ, සත්කෝරලේ සහ සතරකෝරලේ යන ප්‍රදේශ යන් හී වාර්ෂිකව කොහොඹා කංකාරිය ශාන්තිකර්මය පවත්වන අතර එය පවත්වන්නේ මාර්තු සහ අප්‍රේල් මාසයන් තුළය. ඒ ගොයම් කපා අස්වැන්න ලබා ගන්නා කාලයයි.


මෙයට අමතරව වසංගත රෝග, අපල උපද්‍රයන්ගෙන් මිදීමටත්, ස්වභාව ධර්මයට කළගුණ සැලකිමටත්, වර්තමානයේ ජාතික සංස්කීතික උරුමයක් ලෙසත් වසරේ ඕනෑම වර්ශයක කොහොඹා කංකාරිය ශාන්තිකර්මය පවත්වනු ලබයි.


මෙම ශාන්තිකර්මය පවත්වන්නේ කොහොඹා දෙවියන් මූළික කරගෙනය. කොහොඹා දෙව් තුන් කට්ටුවකි. අලුත් කොහොඹා, පරණ කොහොඹා, මහා කොහොඹා සහ බණ්ඩාර දෙවිවරු, වීරමුණ්ඩ දෙව් කොහොඹා කංකාරියෙන් පුද ලබන අතර මලෙයි යකුන්, රුප්පා යකුන්, වැදි යකුන්, කඩවර යකුන් හා බලි යකුන් ද පුද ලබයි.


කොහොඹා කංකාරි චාරිත්‍ර විධි ලෙස අගහස් වෙන් කිරීම, රුක් පේ කිරීම, කප් සිටුවීම, නර්තන ගායන වාදන ඉදිරිපත් කිරිම, මුරුතැන් පිසීම, නානුමුර මංගල්‍යය, පුදා වැඩීම, පේ බත් යැදීම, කඩවර ගොටුව දීම, දෙයියන්ගේ දානය දීම, අයිලේ කට කැපීම, යක්දෙස්සන් පේ වීම, ආභරණ අයිලයට වැඩම කිරිම සහ කප් ගැලවීම සිදු කරයි.


කොහොඹා කංකාරියේ නර්තන අංග ගායනා සහිත හා ගායනා රහිත ලෙස පැවැත්වේ. කුවේණි අස්න, කොහොඹා හෑල්ල, මඩු පුරය ගායනා සහිත නර්තනයන් වන අතර යක් ඇනුම, හත් පදය, කෝල්පාඩුව, දුනු මාලප්පුව, ආවැන්දුම සහ මල්හත් පදය ගායනා රහිත නර්තනයන් වේ.


මෙහි ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ගැටබෙරය වන අතර ඊට අමතරව තාලම්පොට ද උපයෝගි කරගනියි. කොහොඹා කංකාරියේ වයන මඟුල් බෙර වාදනය, අත්‍ය බෙර වාදනය ප්‍රධාන වාදන අවස්ථා වේ.


උඩරට වෙස් ඇඳුම් කට්ටලය කොහොඹා කංකාරිය ශාන්තිකර්මයේ ප්‍රධාන රංග වස්ත්‍රාභරණය වන අතර මෙම ඇඳුම් කට්ටලය මලය රජුගේ ඇඳුම් කට්ටලයට සමානව වන පරිදි නිර්මාණය කර ඇත.


මෙහි නාට්‍යමය පෙළපාළි ලෙස ගබඩා කොල්ලය, ගුරුගේ මාලාව, යක්කම් පහ, කතා පහ, දාන පහ සහ මුවමල විදීම වේ.


කොහොඹා කංකාරියේ විශේෂීත සැරසිලි කිහිපයක් දැකිය හැකිය. එනම් අයිලය, යහන, වැදියක්ගෙය, මඩුව, මුව මල, මල් යහන් සඳහා නිර්මාණය වන සැරසිලි වන අතර මේ සියලුම සැරසිලි වලට යොදාගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය යයි.


කොහොඹා යක් කංකාරිය, කොහොඹා යකුම, කොහොඹා යක්කම යන නම් වලින් ද හඳුන්වනු ලබන කොහොඹා කංකාරිය යනු සිංහල බෞද්ධ ජනතාව අතර පැවති පරම්පරාගත පූජා ක්‍රමයක් වූ අතර නූතන යුගයෙහි මෙවැනි ශාන්ති කර්මයන් නැවත නැවතත් විශ්ලේෂණය කිරීමට ලක්වෙයි. බොහෝ අය මෙය අභිචාරයක් ලෙස පිළිගත්තත් සංස්කෘතික උරුමයක් ලෙස මෙයට ඇති වටිනාකම අතිවිශිෂ්ටය. නව පරම්පරාවට දායාද වන කලාත්මක උරුමයකි. මෙය අනාගතයට රැගෙන යායුතු නර්තනයෙන් පොහොසත් වූ ආත්මීය අනන්‍යතාවයකි.

November 15, 2025